නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය  මහා විද්‍යාලයේ 2018 වර්ෂය සඳහා වන නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පසුගිය පෙබරවාරි 05 වන සඳු දින විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සූර්ය, මෞර්ය, චන්ද්‍ර හා ශාක්‍ය ලෙස නිවාස සතරකට වෙන් ව විවිධ තරඟ ඉසව් යටතේ  තරඟ වැදි, විද්‍යාලයීය සිසු දරුවන්ගේ  ක්‍රීඩා  කෞශල්‍ය  එහිදී අගය කෙරිණි.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු කිරීමේ අධ්‍යක්ෂක කර්නල් මංජුල කාරියවසම් මැතිතුමා සහ සෙසු  ආරාධිතයන්ගෙන් උත්සව සභාව  වර්ණවත් විය. ලකුණු 863ක් ලබා ගනිමින් සමස්ත ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය සූර්ය නිවාසය හිමි කර ගනිද් දී, ශාක්‍ය නිවාසය අනුශූරතවයත් ( ලකුණු  757 ) , මෞර්ය නිවාසය තෙවන ස්ථානය (ලකුණු  681 )  සහ චන්ද්‍ර නිවාසය විසින් සිව්වන ස්ථානයත් (ලකුණු 597) හිමි කර ගනිමින් 2018 වර්ෂයේ ධම්මිස්සර මධ්‍ය  මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ නිමා සනිටුහන් විය.

 

පසුගියදා නිකුත් කරන ලද 2017 අ.පො.ස.උසස් පෙළ විභාග ප්‍රතිඵල අතුරින් විශිෂ්ට ප්‍රතිඵලයන් කිහිපයක් අප විද්‍යාලයට ලැබී තිබුණි. එහිදී D.D.J. හිත්රූ ද අල්විස් විසින් ගණිත අංශයෙන් පුත්තලම් දිස්ත්‍රික් ප්‍රථමස්ථානය හා දිවයිනේ 11 වන ස්ථානයද, D.A. දුලාන් මධුවන්ත විසින් විද්‍යා අංශයෙන් පුත්තලම් දිස්ත්‍රික් දෙවන ස්ථානය හා දිවයිනේ 30 වන ස්ථානයද, A. ඉසුරි අංජලිකා විසින් වාණිජ අංශයෙන් පුත්තලම් දිස්ත්‍රික් දෙවන ස්ථානයද, w.M.රුචිත සේන සම්පත් විසින් ගණිත අංශයෙන් තෙවන ස්ථානයද ලබා ගැනීමට සමත් විය. සමස්තයක් ලෙස උසස් ප්‍රතිඵල වාර්තාවක් බිහි කිරීමට මෙවර ධම්සුරුවේ දූ දරුවන් සමත් වී තිබේ.

 

ධම්මිස්සර විද්‍යාලීය වාර්ෂික සිංහල සාහිත්‍ය සඟරාව' පියවි 2017' ලෙසින් පසුගියදා දොරට වඩිනු ලැබිණි .13 කලා C ශ්‍රේණියේ සුමෂා නදීචානි ශිෂ්‍යයාවගේ සංස්කාරත්වයෙන්,අභිනව සංස්කරණය -පළමු වෙළුම ලෙස එළිදැක්වුණු පියවි 2017 ,විද්‍යාලීය සිසු දරුවන්ගේ සහ ගුරු මණ්ඩලයේ නිර්මාණ වලින් හැඩ ගැන්වී තිබුණි .සුමිත් දර්ශන ගුරු පියාණන් හා විද්‍යාලීය සිංහල විෂය ප්‍රධාන විලෝචනි ගුරුතුමිය පෙරටු කොට ගත් විද්‍යාලීය සිංහල අංශයේ සඟරා කමිටුව භාර ඇදුරු මඩුල්ලේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් 'සාහිත්‍ය මාවත අතික්‍රමණය කරනු ව යලි පිදුමට මඟ' යන තේමාවෙන් මෙවර ධම්සුරු වාර්ෂික සිංහල සාහිත්‍ය සඟරාව මෙලෙස එළිදැක්විණි .

තෙදිනක් පුරාවට (ඔක් 03,04 සහ 05 ) කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේදී පවත්වනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාසල් කරාතේ තරඟාවලියෙන් වයස අවු. 18න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට ධම්මිස්සර ජාතික පාසැල සමත් වී ඇත.